꧁☆༒☬✟✟ 2022 ජනවාරි 19 ✟✟☬༒☆꧂

 


2022 ජනවාරි 19 බදාදා සාමාන්‍ය සමය දෙවන සතිය 
2022 ජනවාරි 17 අඟහරුවාදා සාමාන්‍ය සමය දෙවන සතිය 

පළමු කියවීම 1 සාමුවෙල් 17:32-33, 37, 40-51

32දාවිත් සාවුල්ට කතා කොට, “රජතුමෙනි, කිසිවෙකු මේ පිලිස්තියයාට බිය නොවිය යුතු යි. ඔබේ මෙහෙකරුවා වන මම ගොස් මේ පිලිස්තියයා සමඟ සටන් කරමි”යි කී ය.
33සාවුල් පිළිතුරු දෙමින්, “මේ පිලිස්තියයාට විරුද්ධ ව ගොස් ඔහු සමඟ සටන් කරන්නට ඔබට බැරි ය. මන්ද, ඔබ කොලු ගැටයෙකි. එහෙත්, ඔහු තරුණ වයසේ පටන් හේවායෙකු ව සිටින්නෙකැ”යි දාවිත්ට කී ය
37සිංහයාගේ නිය පහරින් ද වලසාගේ නිය පහරින් ද මා ගැළෙවු සමිඳාණන් වහන්සේ මේ පිලිස්තියයාගේ අතිනුත් මා ගළවන සේක.” සාවුල් කතා කොට, “යන්න. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ සිටින සේක් වා!”යි දාවිත්ට කී ය.
එවිට දාවිත් සාවුල්ට කතා කොට, “මට මේවා ඇඳ පුරුදු නැති බැවින් මේවා ඇඳගෙන යන්නට බැරි ය”යි කියා ඒවා ගලවා දමා, 40තමාගේ සැරයටිය අතින් ගෙන, දොළෙන් සිනිඳු ගල් පහක් තෝරාගෙන, තමා ළඟ තිබුණ පසුම්බියක් වන එඬේර මල්ලේ ඒවා දමාගෙන, අතින් ගල් පටිය රැගෙන පිලිස්තියයා දෙසට යන්නට ගියේ ය.
දාවිත් ගොලියත් පරාජය කිරීම
41පිලිස්තියයා පිටත් ව අවුත් දාවිත් දෙසට ගමන් කෙළේ ය. පලිහ ගෙන යන්නා ඔහුට පෙරටුව ආවේ ය. 42පිලිස්තියයා දාවිත් දුටු විට ඔහුට ගැරහුම් කෙළේ ය. මන්ද, ඔහු රතු පැහැයක් ද කඩවසම් පෙනුමක් ද ඇති තරුණයෙකු වූ බැවිනි. 43පිලිස්තියයා දාවිත්ට කතා කොට, “තෝ සැරයටිය රැගෙන මා ළඟට එන්නේ මා බල්ලෙකැ යි සිතා ද” කියා, තමාගේ දෙවියන්ගේ නාමයෙන් දාවිත්ට දෙස් කීවේ ය. 44ඔහු තවදුරටත් කතා කරමින්, “මා ළඟට වර, මම තාගේ මස් ආකාශයේ පක්ෂීන්ටත්, වනයේ මෘගයන්ටත් දෙන්නෙමි”යි දාවිත්ට කීවේ ය.
45එවිට දාවිත් පිළිතුරු දෙමින්, “තෝ කඩුවක් ද හෙල්ලයක් ද කුන්තයක් ද රැගෙන මා ළඟට එන්නෙහි ය. මම වනාහි තා නින්දා කළ ඉශ්රායෙල් හමුදාවල සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් තා ළඟට එමි. 46අද දින සමිඳාණන් වහන්සේ තා මා අතට පාවා දෙන සේක; මම තට ගසා, තාගේ හිස කපා දමා, පිලිස්තිවරුන්ගේ මළකඳන් අද දවසේ ආකාශයේ පක්ෂීන්ට ද පොළොවේ වන මෘගයන්ට ද දෙන්නෙමි. මෙසේ ඉශ්රායෙල් කෙරෙහි දෙවි කෙනෙකුන් සිටින බව පොළොවේ සියල්ලන් ම දැනගනු ඇත. 47ජය ගැනීමට සමිඳාණන් වහන්සේට කඩුවක් වත්, හෙල්ලයක් වත් වුවමනා නැති බව මුළු සමූහයා දැනගනු ඇත. සටන සමිඳාණන් වහන්සේගේ ය; උන් වහන්සේ ද ඔබ අප අතට පාවා දෙන සේකැ”යි පිලිස්තියයාට කී ය.
48පිලිස්තියයා යළිත් දාවිත්ට විරුද්ධ ව ගමන් කෙළේ ය. දාවිත් විගසින් පිලිස්තියයාට විරුද්ධ ව සේනාව දෙසට දුව ගොස්, 49මල්ලේ අත දමා එයින් ගලක් ගෙන, එය ගල් පටියෙන් විද්දේ ය. ඒ ගල පිලිස්තියයාගේ නළලට වැදී නළල ඇතුළට කා වැදුණේ ය. පිලිස්තියයා මුණින්තළා බිමට වැටිණි. 50මෙසේ දාවිත් කඩුවක් නැති ව ගල් පටියෙන් ද ගලෙන් ද පිලිස්තියයාගෙන් ජයගෙන, ඔහුට පහර දී, ඔහු මැරුවේ ය. 51එවිට දාවිත් දුව ගොස් පිලිස්තියයා ළඟ සිට ඔහුගේ කඩුව කොපුවෙන් ඇද, එයින් ඔහුගේ හිස ගසා දමා ඔහු මැරුවේ ය. පිලිස්තිවරු තමන්ගේ යෝධයා මළ බව දැක පලා ගියෝ ය.

පිළිතුරු ගීය  ගීතාවලිය 144:1B, 2, 9-10

1මාගේ පර්වතය වන සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා!
එතුමාණෝ යුද්ධයට මාගේ අත් ද සටනට මාගේ ඇඟිලි ද පුහුණු කරන සේක.
2එතුමාණෝ මට කරුණා නිධානය ය;
මාගේ බලකොටුව ය;
මාගේ උස් කොටුව හා මාගේ මිදුම්කරු ය;
මාගේ පලිහ ය.
මා විශ්වාසය තබන තැනැන් වහන්සේ ය.
ජාතීන් මට යටත්කර දෙන්නේ එතුමාණෝ ය.දෙවිඳුනි, ඔබට නව ගීයක් ගයන්නෙමි.
තත් දසයේ වීණාව ගෙන ඔබට පසස් ගී ගයන්නෙමි.
10රජුන්ට ජය දෙන්නේත්, ඔබේ මෙහෙකරු දාවිත් රුදුරු කඩුවෙන් මුදාගන්නේත් ඔබ ය.

ආලේලූයියා  මතෙව් 4:23

23 තවද, ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල අනුශාසනා කරමින් ද රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද සෙනඟ අතර සියලු ආකාර ලෙඩ රෝග සුව කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක. 

සුබාරංචිය මාක් 3:1-6

1තවත් දිනක උන් වහන්සේ ධර්මශාලාවට වැඩිය විට, අතක් පණ නැති මිනිසෙක් එහි විය. 2එවිට එහි රැස් ව සිටි අය උන් වහන්සේට වරද තබන පිණිස, සබත් දිනයේ දී උන් වහන්සේ ඔහු සුව කරනු ඇද්දැ යි බල බලා උන්හ. 3උන් වහන්සේ අත පණ නැති මිනිසාට කතා කොට, “නැඟිට ඉදිරියට එන්නැ”යි වදාරා 4ඉන්පසු, “සබත් දිනයේ දී කළ යුත්තේ යහපත ද අයහපත ද, ප්‍රාණයක් ගැළවීම ද නැසීම දැ”යි සෙනඟගෙන් ඇසූ සේක. එහෙත්, ඔව්හු නිහඬ ව සිටියහ. 5උන් වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම ගැන දුක් ව, උදහසින් වටේට බලා “ඔබේ අත දිග හරින්නැ”යි ඒ මිනිසාට වදාළ සේක. ඔහු එය දිග හැරියේ ය. එකෙණෙහි ම ඔහුගේ අත සුව විය. 6එවිට පරිසිවරු පිටත් ව ගොස් උන් වහන්සේ කෙසේ නසමු දැ යි උන් වහන්සේට විරුද්ධ ව හෙරෝදීයයන් සමඟ එකෙණෙහි ම කුමන්ත්‍රණය කළහ.

Post a Comment

0 Comments