꧁☆༒☬✟✟ 2022 ජනවාරි 16 ✟✟☬༒☆꧂

2022 ජනවාරි 16 ඉරිදා සාමාන්‍ය සමය දෙවන සතිය 

පළමු කියවීම යෙසායා 62:1-5
1මම සියොන් උදෙසාත්, ජෙරුසලම උදෙසාත් නිහඬ ව නොසිටින්නෙමි.
එහි දැහැමි බව දීපකයක් මෙන් ද එහි ගැළවීම ඇවිලෙන පහනක් මෙන් ද බැබළෙන තෙක් නිශ්ශබ්ද ව නොසිටින්නෙමි.
2එම්බා ජෙරුසලම!
ජාතීන් නුඹේ දැහැමි බවත්, සියලු රජවරුන් නුඹේ තේජසත් දකිනු ඇත.
සමිඳුන්ගේ ම මුඛයෙන් පැවසෙන අලුත් නමක් නුඹට දෙනු ලබන්නේ ය.
3නුඹ සමිඳුන්ගේ අතෙහි අලංකාර ඔටුන්නක් ද නුඹේ දෙවිඳුන්ගේ අතෙහි රාජ කිරීටයක් ද මෙන් වන්නෙහි ය.
4නුඹ, ‘අත්හරින ලද්දා’ කියා ද නුඹේ දේශය ‘අත්හරින ලද භාර්යාවක’ කියා ද තවත් නොකියනු ලබන්නේ ය.
‘මාගේ ප්‍රීතිය’ යන අරුත ඇති ‘හෙප්ශිබා’ නුඹේ අලුත් නම වන්නේ ය.
සමිඳාණන් නුඹ කෙරෙහි ප්‍රසන්න බැවින්, නුඹේ දේශය ‘ප්‍රීති කරන ගීය’ යන අරුත ඇති ‘බෙයුලා’ කියා කියනු ලබන්නේ ය.
එතුමාණෝ නුඹේ දේශය සරණ කොට ගන්න සේක.
5තරුණයෙකු කන්‍යාවක සරණ කොට ගන්න සේ නුඹේ පුත්‍රයෝ නුඹ සරණ කොට ගන්නෝ ය.
මනාලයා මනාලිය කෙරෙහි ප්‍රීති වන්නාක් මෙන් නුඹේ දෙවිඳාණෝ නුඹ ගැන ප්‍රීති ප්‍රමෝද වන සේක.
පිළිතුරු ගීය ගීතාවලිය 96:1-2, 2-3, 7-8, 9-10
1සමිඳාණන් වහන්සේ හට නව ගීයක් ගයන්න;
පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ගී ගයන්න.
2සමිඳුන් හට ගී ගයා, එතුමාණන්ගේ නාමයට ආසිරි පතන්න;
එතුමාණන්ගේ ගැළවීමේ ශුභාරංචිය දිනෙන් දින ප්‍රකාශ කරන්න.
3විජාතීන් අතර එතුමාණන්ගේ මහිමය ප්‍රකාශ කරන්න;
ජනතාවන් අතර එතුමාණන්ගේ ප්‍රබල ක්‍රියා පවසන්න.
7 සකල ජනයෙනි, සමිඳුන් පසසන්න;
ගෞරවය ද බලය ද සමිඳුන් හට පිරිනමන්න.
8සමිඳුන් නමට හිමි ගෞරවය එතුමාණෝ හට පිරිනමන්න;
පඬුරක් රැගෙන එතුමාණෝ ඉදිරියට එන්න.
9සමිඳුන් අබිමුව පාරිශුද්ධත්වයෙන් සැරසී වැඳ වැටෙන්න;
ලෝ වැසි සියල්ලෙනි, එතුමාණෝ අබිමුව බියෙන් ඇලළී සිටින්න.
10විජාතීන් අතර මෙසේ පවසන්න:
“සමිඳාණෝ රජකම් කරන සේක;
නොසැලෙන ලෙස ලෝකය පිහිටා ඇත;
එතුමාණෝ සාධාරණ ලෙස ජනතාවන් විනිශ්චය කරන සේක.
දෙවන කියවීම 1 කොරින්ති 12:4-11
4  විවිධාකාර දීමනා ඇතත්, සිටින්නේ එක ම ශුද්ධාත්මයාණෝ ය. 5විවිධාකාර සේවා ඇතත්, සිටින්නේ එක ම සමිඳාණන් වහන්සේ ය. 6විවිධාකාර දේව බල ක්‍රියා කරතත්, සිටින්නේ සියල්ලන් තුළ ක්‍රියා කරන එක ම දෙවියන් වහන්සේ ය. 7අන්‍යොන්‍ය යහපත සඳහා එකිනෙකාට ආත්මයාණන්ගේ ප්‍රකාශවීමක් දී ඇත. 8කෙනෙකුට ආත්මයාණන් මඟින් උවදෙස් දීමේ ප්‍රඥාව ද, තවත් කෙනෙකුට එම ආත්මයාණන් මඟින් ම ධර්මය පහදා දීමේ ඥානය ද දී ඇත. 9අන් කෙනෙකුට ආත්මයාණන් තුළ විශ්වාසය ද, එම ආත්මයාණන් තුළ තවත් කෙනෙකුට සුව කිරීමේ දීමනා ද දී ඇත. 10තවත් කෙනෙකුට හාස්කම් කිරීමේ බලය ද, තවත් කෙනෙකුට දිවැසි වැකි කීමේ බලය ද, තවත් කෙනෙකුට ආත්ම විමසීමේ හැකියාව ද තවත් කෙනෙකුට අන් භාෂාවලින් කතා කිරීමේ පුළුවන්කම ද තවත් කෙනෙකුට එය පහදා දීමේ ශක්තිය ද දී ඇත. 11මේ සියලු දීමනා, තමන් කැමැති පරිදි, වෙන් වෙන් වශයෙන් එකිනෙකාට බෙදා දෙන්නේ එක ම ආත්මයාණන් වහන්සේ ය.
ආලේලූයියා 2 තෙසලෝනික 2:14
14 එසේ දෙවියන් වහන්සේ ඔබ කැඳෙව්වේ අප ඔබ වෙතට ගෙනා සුබ අස්න මඟින් ය. ඒ කැඳවීම ඔබ ලැබුවේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මහිමයට ඔබ පංගුකාරයන් වන පිණිස ය.
සුබාරංචිය ජොහන් 2:1-11
1තුන් වන දවසෙහි, ගලීලයේ කානාහි විවාහ මංගල්‍යයක් විය; ජේසුස් වහන්සේගේ මෑණියෝ ද එහි සිටියහ. 2සිය ශ්‍රාවකයන් සමඟ ජේසුස් වහන්සේ ද මංගල්‍යයට කැඳවනු ලැබූ සේක. 3මිදියුස හිඟ වූ විට, ජේසුස් වහන්සේගේ මෑණියෝ, “මිදියුස නැතැ”යි උන් වහන්සේට කී හ. 4ජේසුස් වහන්සේ ද කතා කොට, “ස්ත්‍රිය, ඔබත් මාත් මේ ගැන කරදර වෙන්නේ කුමට ද? මාගේ මොහොත තව ම පැමිණ නැතැ”යි වදාළ සේක. 5උන් වහන්සේගේ මෑණියෝ මෙහෙකරුවන් අමතා, ‘මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුව ද කරන්නැ’යි කී හ.
6ජුදෙව්වරුන්ගේ පවිත්‍ර වීමේ වත්පිළිවෙත් සඳහා ලීටර් සියයක් පමණ අල්ලන ගල් භාජන සයක් එහි තබා තිබිණි. 7“භාජනවලට වතුර පුරවන්නැ”යි ජේසුස් වහන්සේ සේවකයන්ට වදාළ සේක. ඔව්හු ද ඒවා ගැටිය දක්වා ම පිරෙව්වෝ ය. 8“දැන් මෙයින් ටිකක් සංවිධායක තැන වෙත ගෙන යන්නැ”යි උන් වහන්සේ ඔවුන්ට වදාළ සේක. ඔව්හු එය ගෙන ගියහ. 9සංවිධායක තැන මිදියුස බවට හැරුණු වතුර ගෙන රස බැලී ය. එය කෙසේ ලැබිණි දැ යි වතුර ගෙනා සේවකයන් දැන සිටි නමුත්, ඔහු නොදත්තේ ය. එබැවින් ඔහු මනාලයා කැඳවා, 10“හැම කෙනෙක් ම පළමුකොට හොඳ මිදියුසයෙන් සංග්‍රහ කරති; කවුරුනුත් සෑහෙන තරමට පානය කළ පසු බාල මිදියුසයෙන් සංග්‍රහ කරති. එහෙත්, ඔබ මේ වන තුරු හොඳ මිදියුස තබාගෙන සිටියෙහි ය”යි ඔහුට කී ය.
11මේ වනාහි ජේසුස් වහන්සේ ලකුණක් පිණිස කළ හාස්කම්වලින් පළමු වැන්න ය. එය සිදු කරන ලද්දේ ගලීලයේ කානාහි දී ය. එසේ කිරීමෙන් උන් වහන්සේ සිය තේජශ්‍රීය ප්‍රකාශ කළ සේක; ශ්‍රාවකයෝ ද උන් වහන්සේ අදහාගත්හ.

Post a Comment

0 Comments