✟✯ අන්තෝනියෝ ඩැනියෙල් මුනිතුමා ✯ ✟

 



ඇන්තනි ඩැනියල් උපත ලැබූවේ 1601 වසරේ මැයි 27 වන දින ප්‍රංශයේ ඩියෙප් නම් නගරයේ ය. වසර දෙකක දර්ශනවාදය හා වසරක නීතිය පිළිබඳව හැදෑරීමෙන් පසු ඔහු 1621 ඔක්තෝම්බර් 01 වන දින රෝවන් හී ජේසු  නිකායට ඇතුළත් විය. වර්ෂ 1623 සිට 1627 දක්වා කාලය තුළ ඔහු රෝවන් හී විදුහලක කනිෂ්ඨ පන්ති වල ගුරුවරයකු ලෙස උගන්වනු ලැබීය. 

1627 වසරේ දී දේව ධර්ම ශාස්ත්‍රය හැදෑරීම සඳහා ඔහුව පැරීසියේ ක්ලමෝන්ට් විද්‍යාලයට යවන ලදී. ඉන්පසු වර්ෂ 1630 දී ඔහු පූජකවරය ලබා ගන්නා අතර ඉයු නම් විද්‍යාලයේ ඉගැන්වීම සඳහා පත්වීම ලබා ගත්තේය. පසුකාලයක කැනඩාවේ කේප් බ්‍රිටෝන් නම් දූපතකට පැමිණෙන ඔහු සහ තවත් පියතුමෙකු වසරක පමණ කාලයක් රැඳී සිට එහි වාසය කළ ප්‍රංශ ජාතිකයින් හට සේවය කළෝය.

1634 වසරේ දී ඩැනියල් තවත් පියතුමන්ලා දෙදෙනෙක් සමග වෙන්ඩාකේ ගෝත්‍රයක ජනාවාසයකට ගොස් හුරෝන් නම් ගෝත්‍රයක භාෂාව ප්‍රගුණ කරගෙන යාච්ඤාවන් එම බසින් ලියා සංගීතවත් කර කිතු දහම ඔවුන්හට හරවත් ලෙස කියා දුන්නේ ය. 1638 වසරේ දී ධර්මදූත කාර්ය සඳහා වෙනත් ප්‍රදේශයකට යන ඔහු 1648 වසරේ දී නැවත හුරෝන් හී ප්‍රධාන නගරයට පැමිණ අතර ඉරොකොයි ජාතිකයින් විසින් හුරෝන් ගෝත්‍රිකයන් හට ප්‍රහාරයක් එල්ල කරන ලදී. මෙම මොහොතේ දී ඩැනියෙල් පියතුමා සියලු දෙනා කැඳවා පොදු සමාව දී ඔවුන් ආශීර්වාද කොට බෞතිස්ම කරන ලදී.

1648 ජුලි 04 වන දින පූජක පළඳනාවෙන් සැරසී සිටි ඩැනියල් පියතුමා ශ්‍රී කුරුසය අත දරාගෙන සතුරන් අබිමුවට ගිය අතර එහිදී ඔවුන් එතුමන් හට වෙඩි තබා ඝාතනය කර ශරීරය දේවස්ථානය ඇතුළත දමා ගිනි තබන ලදී. 



Post a Comment

0 Comments